03/06/2026
ජාවේඩ් බායි, නවසීලන්තේ ටුවර් එක යන්න සල්ලි කොච්චර ඕන වෙයි ද?
"1984 වසරේ ලාහෝර් නුවර පැවැත්වුණා එක්තරා ක්‍රිකට් පුහුණු කඳවුරක්. ආධුනික ක්‍රීඩකයෙක් විදියට මම තීරණය කළා එයට සහභාගී වෙන්න. අවාසනාවකට එහි පළමු දවස් හතරේම මට එකම පන්දුවක් හෝ යවන්න අවස්ථාවක් ලැබුණේ නෑ. එයින් මා පත්වුණේ සෑහෙන වේදනාවකට.
මම නැවත මගේ ක්‍රිකට් පුහුණුකරුවා සොයා ගියා. මම ඔහුට කිව්වා මට නැවතත් ඒ පුහුණු කඳවුරට ගොස් නිකරුණේ කාලය අපතේ යැවිය නොහැකි බව.
මගේ පුහුණුකරුවා මාව දිරිමත් කළා. ඔහු පුහුණු කඳවුරේ ප්‍රධාන නිලධාරියාට කතා කොට හැකි නම් මට පන්දු යැවීමට අවස්ථාවක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියා.
මට මගේ අවස්ථාව ලැබුණේ පස්වැනි දිනය අවසාන වන්නට ඔන්න මෙන්න තිබිය දී. ඒකත් හොඳටම පරණ වෙච්ච පන්දුවක්. මට ලැබුණු ඒ පරණ පන්දුවෙන් මම සෑහෙන හොඳින් පන්දු යැව්වා.
පුහුණු කඳවුරේ ප්‍රධාන නිලධාරියා ගේ නම සදාත් අලී. ඔහු පාකිස්තානු ජාතික කණ්ඩායම නියෝජනය කල ක්‍රීඩකයෙක්. මා පරණ පන්දුවෙන් පෑ දස්කම් ගැන ඔහු සෑහෙන පැහැදුණ බවක් පෙනෙන්නට තිබුණා.
පසුදින උදෑසනම ඔහු මට කතා කරලා අතට දුන්නේ හොඳට දිලිහෙමින් තිබූ නව පන්දුවක්. එයට ප්‍රධානම හේතුව වුනේ පුහුණු කඳවුරේ ප්‍රධානියා මා ගැන විශාල පැහැදීමකට පත්ව සිටි නිසා බව මට රහසක් වුනේ නැහැ.
මම මට හැකි උපරිම ජවය යොදා දිවවිත් උපරිම වේගයෙන් පන්දු යැව්වා. රමීස් රාජා ඇතුළු නම ගිය පිතිකරුවන් සෑහෙන ප්‍රමාණයක් දවා ගන්න එදා මට හැකි වුනා.
එවකට කරච්චි නුවර පදිංචි වෙලා හිටපු ජාවේඩ් මියැන්ඩාඩ් ලාහෝර් නුවර පදිංචියට පැමිණියේත් ඒ කාලෙයේ දී. මියැන්ඩාඩ් එවකට පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ නායකයා.
එක් දිනක් ඔහු පුහුණු කඳවුරට පැමිණියා. මියැන්ඩෑඩ් පුහුණු සැසියට ආ විගසම සදාත් අලී, මියැන්ඩෑඩ්ට පන්දු යැවීමට සූදානම් වන ලෙස මට උපදෙස් දුන්නා.
ඒක හීනයක් සැබෑ වීමක් වගේ. ජාවෙඩ් මියැන්ඩාඩ් කියන්නේ මගේ ලෝකයේ ක්‍රිකට් වීරයෙක්. මම හැකිතාක් වේගයෙන් ඔහුට පන්දු යැව්වා. මට හැඟුණා ඔහු ඉතාම පැහැදීමකට ලක්වී සිටින බව.
පුහුණු කඳවුරට සහභාගී වී සති තුනක් ඇතුළත මා ප්‍රථම වතාවට පළමුපෙළ තරගයකට ක්‍රීඩා කළා.
මගේ මුල්ම පළමුපෙළ තරගය පාකිස්තානු සභාපතිවරයාගේ කණ්ඩායම සහ සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වුණේ. මාර්ටින් ක්‍රෝ, ජෙෆ් ක්‍රෝ, ජෙරමි කෝනි වැනුන් ක්‍රීඩා කල එම තරගයේ පළමු ඉනිමේ කඩුලු හතකුත් දෙවැනි ඉනිමේ කඩුලු දෙකකුත් දවා ගන්න මම සමත් වුනා.
ඒ දස්කම පාකිස්තානු තේරීම් කමිටුවේ ඇස් ඇරීමක්. නවසීලන්ත කණ්ඩායම සමඟ එම දස්කම දක්වා සති කිහිපයකට පසුව තමයි මට මුල්ම වතාවට පාකිස්තානු ජාතික කණ්ඩායමේ දොරටු විවර වන්නේ.
ක්‍රිකට් ක්‍රීඩා කරන්න සුදුසු අන්දමේ සපත්තු කුට්ටමක් මිලට ගන්න මට ඒ දිනවල ඒ හැටි වත්කමක් තිබුණේ නැහැ.
මට මතකයි නවසීලන්ත සංචාරයට ජාතික කණ්ඩායමට තෝරා ගත් බව ආරංචි වුනාම මම දුරකතනයෙන් කෙළින්ම කතා කලේ ජාවෙඩ් මියැන්ඩාඩ්ට.
“ජාවේඩ් බායි, මම කොපමණ මුදලක් නවසීලන්තයට රැගෙන යා යුතු ද?” මම නොඉවසිල්ලෙන් ඇහුවා.
“පාකිස්තානු රුපියල් 50,000ක් පමණ ඇති වෙයි” කියා ඔහු පැවසුවා.
“අනේ, ජාවේඩ් බායි, මේ වෙලාවේ මා අතේ එතරම් මුදලක් නැහැ. සමාවෙන්න, මට සමහර විට මේ සංචාරයට එක්වෙන්න බැරි වේවි” මම බිඳුණු හඬින් කිව්වා.
“ඔබ ඔබේ පෞද්ගලික මුදල් රැගෙන යන්න අවශ්‍ය නැහැ. ඔබට පාලක මණ්ඩලයෙන් මුදල් ලැබෙනවා.” මියැන්ඩාඩ් පැවසුවා.
මම පුදුමයට පත්වුණා. තමා ආසම කරන දේ රැකියාව ලෙස කරමින් මුදල් උපයා ගන්න ලැබීම බොහෝ දෙනෙකුට නොලැබෙන විරල අවස්ථාවක්.
1985 ජනවාරියේ ඕක්ලන්ඩ්හීදී මම මගේ ප්‍රථම ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන විට මම ක්‍රීඩා කරල තිබුණේ පළමු පෙළ තරග දෙකකට හෝ තුනකට පමණයි.
ඩනේඩීන්හි පැවති මගේ දෙවැනි ටෙස්ට් තරගයේදී කඩුළු දහයක් දවා ගන්නට හැකි වුනා. නවසීලන්ත නායක ජෙෆ් හොවාර්ත්, මාර්ටින් ක්‍රෝ, ජෙෆ් ක්‍රෝ, ජෝන් රීඩ් සහ ඉයන් ස්මිත් වැනුන් දවා ගන්නට එදා මට හැකියාව ලැබුණා.
ටෙනිස් පන්දුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කරන්නට පටන් ගත් කාලයේ කෙනෙකු මට කිව්වා නම් ඔබ තවත් වසර කිහිපයකින් ඉම්රාන් ඛාන්, ජාවේඩ් මියැන්ඩෑඩ්, සහීර් අබ්බාස් වැනි අය සමඟ එකට ක්‍රීඩා කරයි කියලා ඒක හොඳ විහිළුවක් වෙන්න ඉඩ තිබුණා. මේ කියන කාලයේ පවා මගේ සිහිනය වුනේ ටේබල් ටෙනිස් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න.
කුඩා කාලයේ මා වීරයන් ලෙස සැලකූ බොහෝමයක් ක්‍රීඩකයින් සමග උරෙනුර ගැටෙමින් ක්‍රිකට් ක්‍රීඩා කරන්න මට පසුකාලෙක අවස්ථාවක් ලැබුණා. මගේ ක්‍රිකට් ජීවිතයේ ලද සුවිශාලම ජයග්‍රහණය එයයි.”
- වසීම් අක්‍රම් (නැවත පළ කිරීමක්)
මූලාශ්‍රය: Cricket Legends, Wasim Akram | Fox Sports
ඡායාරූපය: Patrick Eagar | Getty Images
02/06/2026
අපි මේ කතාව කියන්න යන ගැටවරයා අවුරුදු 17-18 වගේ වයසට එද්දී තිබුණේ එයාගේ සම වයසේ දරුවන්ට තියන ප්‍රශ්නවලට වඩා හාත්පසින්ම වෙනස් ප්‍රශ්නයක්.
ඒ තමයි නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට ක්‍රීඩා කරලා කවදාහරි ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කිරීමේ සිහිනය සැබෑවක් කරගන්නවා ද එහෙමත් නැත්නම් එංගලන්තයේ සරේ ප්‍රාන්තය නියෝජනය කරලා එංගලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනා ගන්නව ද කියලා.
මේ තරුණයාට ඔහුගේ මව් පාර්ශ්වයෙන් එංගලන්තයට සම්බන්ධයක් තිබුණා.
තවත් පැත්තකින් ඔහුට නවසීලන්තය නියෝජනය කරන්න දුරස්ථ අවස්ථාවකුත් තිබුණා.
මේ වෙද්දී මේ යොවුන් ක්‍රීඩකයා වෙනුවෙන් සරේ ප්‍රාන්තයෙන් වසරකට පවුම් 30,000ක් ගෙවන තුන් අවුරුදු කොන්ත්‍රාත්තුවකට පිඹුරුපත් සකස් වෙලා තිබුණේ.
ඒත් එක්කම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඔහුට කොන්ත්‍රාත්තුවක් ලැබෙනවා. එයින් ඔහුට වසරකට ඔස්ට්‍රේලියානු ඩොලර් 12,000ක් ලැබෙන්න නියමිතයි.
සරේ ප්‍රාන්තයෙන් ලැබුණ කොන්ත්‍රාත්තුව, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ලැබුණ කොන්ත්‍රාත්තුවවට වඩා සෑහෙන සිත් ගන්නා සුළුයි.
දැන් මේ තරුණයා දෙලොවක් අතර හිරවෙලා.
හැබැයි,
මේ තීරණාත්මක අවස්ථාව වෙද්දී මේ තරුණ ක්‍රීඩකයා තීරණය කරලා ඉවරයි මොන තරම් බාධක ආවත් ඔහු කවදහරි නියෝජනය කරන්න යන්නේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම කියලා.
"මම හැදී වැඩුණු, ක්‍රිකට් ක්‍රීඩාව ඉගෙන ගත්ත තැන ඔස්ට්‍රේලියාව. මම මේක දාලා යන්නේ නෑ"
වසර ගණනාවකට පසු ඔහු ඔස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම නියෝජනය කළා. නියෝජනය කළා පමණක් නොවෙයි ඔහුගේ පරම්පරාවේ දැවැන්ත පිතිකරණ තරුවක් වෙන්න සමත්වුණා.
ඔහුගේ නම ස්ටීව් ස්මිත්... ඔහුට අදට අවුරුදු 37ක්.
මූලාශ්‍රය: ස්ටීව් ස්මිත් ගේ The Journey: My Story, from Backyard Cricket to Australian Captain ග්‍රන්ථය.
ඡායාරූපය: Ishara Kodikara | Getty Images
02/06/2026
ෆ්‍රාන්ස්ට සිය සහෝදරයා හඳුනාගන්නට අපහසු වූයේ නැත. ඔහුගේ මුහුණට කිසිඳු හානියක් සිදුව තිබුණේ නැත.
නමුත් බෙල්ලෙන් පහළ කඳ කොටස නැවත යථා තත්ත්වයට පත් කරන්නට නොහැකි ලෙස කුඩු පට්ටම් වී තිබිණි.
ෆ්‍රාන්ස් සිය සහෝදරයාගේ නිසල දේහය දෙස බලමින් සුසුමක් හෙළුවේය. ෆ්‍රාන්ස් හැරෙන්නට වෙනත් කිසිවෙකුට ඔහු දෙස එලෙස බලන්නට හැකියාවක් තිබුණේ නැත.
මේ ආකාරයෙන් නිසලව වැතිර සිටින 32 හැවිරිදි මිනිසා නෙල්සන් මැන්ඩෙලා හැරුණු විට දකුණු අප්‍රිකානුවන් වඩාත්ම ආදරය කළ මිනිසා වන්නට පුළුවන.
නමුත් ඔහු කළ වැරද්ද සමාව දිය හැකි එකක් නොවේ. එකී වරද ඔහු සතුව තිබූ වීරත්වය නැවත නැවතත් ඔස ඔසවා පොළොවේ ගැසිය මට්ටමේ එකක් විය.
ෆ්‍රාන්ස් සිය බාල සහෝදරයාගේ ඇඟිල්ලක වූ මඟුල් මුදුව තරමක අපහසුවෙන් ගලවා ගත්තේය. ඒ සිය සහෝදරයාගේ බිරිඳගේ බර්තා ගේ ඉල්ලීම නිසාය.
මුදුව එකවර ගැලවී ආවේ නැත. මෘත ශරීරාගාරය අසල සිටි පොලිස් නිලධාරියෙකු වහාම ෆ්‍රාන්ස් ගේ උදව්වට පැමිණියේය.
ෆ්‍රාන්ස්, වෙසල් ජොහැන්නස් ක්‍රෝන්යේ නම් සිය බාල සහෝදරයා දැක ගත් අවසාන අවස්ථාව එය විය.
"මට හැන්සිව එහෙම දැක්කාම දුක්ඛදායී හැඟීමක් ආවේ නැහැ. ඔහු කළ වරදට සෑහෙන වන්දි ගෙව්වා. ඔව් මට ඔහු ගැන දුකක් ආවේ නැහැ"
ෆ්‍රාන්ස් ක්‍රෝන්යේ සිය බාල සහෝදරයා, හිටපු දකුණු අප්‍රිකානු නායකයා හැන්සි ක්‍රෝන්යේ අවසන් වරට දැක ගත් මතකය The Hansie Cronjé story ග්‍රන්ථයේ සනිටුහන් කළේ එහෙම ය.
හැන්සි ක්‍රෝන්යේ නික්ම ගොස් ඊයේ දිනයට වසර 24ක් සපිරේ.
11/05/2026
ක්‍රිකට් ඉතිහාසයට ඔබේ කතාන්දරය වැදගත් වීමට ඔබ ටෙස්ට් තරග සියයක් ක්‍රීඩා කිරීම අත්‍යවශ්‍ය වන්නේ නැත.
ස්වප්නිල් අස්නොද්කාර් කතාව ද එවැන්නකි.
අස්නොද්කාර් 2008 වසරේ IPL තරගාවලියේ ක්‍රීඩා කලේ තරග 09කට පමණෙකි, නමුත් ඔහුගේ කතාව ඉන්පසු පැමිණි බොහෝ දෙනෙකුට සිය කතාව ලෝකයා හමුවේ කියන්නට මග විවර කළේය.
පෝර්වොරිම් ප්‍රදේශයෙන් පැමිණි, අඩි 5 හමාරක්වත් උස නොමැති මේ තරුණයා එදා රාජස්ථාන් රෝයල්ස් කඳවුරට එක්වන්නේ මුම්බායි නගරයේ කුඩා නිවසක වටිනාකමටත් වඩා අඩු මුදලකට ය.
රාජස්ථාන නායක ෂේන් වෝන් ඔහුගෙන් යමක් දුටුවේය. ඔහු අස්නොද්කාර්ට "ගෝවා කාලතුවක්කුව" යනුවෙන් සුරතල් නාමයක් එක් කළේය.
එම නම ඔහුට හොඳින්ම ගැලපුණි. ගෝවා වෙරළ තීරයන්හි පෘතුගීසි යුගයට අයත් මලකඩ කෑ පැරණි කාලතුවක්කු එමට ඇත. ඒවා ප්‍රමාණයෙන් කුඩා වුවද, බරින් වැඩිය; තවමත් ක්‍රියාත්මකය.
එම වසරේ ඔහු ඉනිම ආරම්භ කළේ දකුණු අප්‍රිකාවේ ග්‍රේම් ස්මිත් සමඟිනි. දැවැන්තයෙකු සහ කුඩා මිනිසෙකුගේ සංකලනයකි. ස්මිත් බලා සිටියදී, අස්නොද්කාර් තම පළමු තරගයේදීම පන්දු 34කින් ලකුණු 60ක් රැස් කළේ කාලයක සිට මේ වෙනුවෙන් පුරුදු පුහුණු වූවෙකු මෙනි.
ඇත්තටම ඔහුට එවැනි පළපුරුද්දක් තිබුණේ නැත. ඔහු රංජි කුසලාන තරගාවලියේ සාමාන්‍ය ක්‍රීඩකයෙකු වූ නමුත්, වෝන් සහ ස්මිත් ඔහුට පැවසුවේ තම කඩුල්ල ගැන කරදර වීම නවත්වන ලෙසයි. වසර 6ක් පුරා කඩුල්ල ආරක්ෂා කරගන්නා ආකාරය ඉගෙන ගත් ක්‍රීඩකයෙකුට, ඒ සියල්ල අමතක කර ඕනෑම පන්දුවකට පහර දෙන ලෙස පැවසීම කෙතරම් පුදුම සහගතද?
ඔහු එය අකුරටම ඉටු කළේය. 34.5ක සාමාන්‍යයක් සහ 133.5ක වේගවත් ප්‍රහාරක වේගයක් ඔහු සතු විය. ස්මිත් සමඟ ඔහුගේ ලකුණු සාමාන්‍ය සම්බන්ධතාවය ලකුණු 60ක් පමණ වූ අතර, එය එම තරගාවලියේ ඕනෑම කණ්ඩායමක ඉහළම අගය විය.
ග්ලේන් මැක්ග්‍රාත් සහ මොහොමඩ් අසීෆ් වැනි ප්‍රබල පන්දු යවන්නන් සිටි අවසන් පූර්ව තරගයේදී, අස්නොද්කාර් පන්දු 21කින් ලකුණු 39ක් රැස් කළ අතර පවර්ප්ලේ ඕවර තුළදී රෝයල්ස් කණ්ඩායම ලකුණු 58ක් ලබා ගත්තේය. අවසානයේ ඔවුන් සමස්ත ශූරතාවයම ජයග්‍රහණය කළහ.
2009 වසර උදා විය. දකුණු අප්‍රිකාවේ වේගවත්, ඉපිලෙන තණතීරු සහ ඔහුගේ වීඩියෝ දර්ශන නරඹා සිටි වේගපන්දු යවන්නන් ඔහුට අභියෝගයක් විය. එම තරග වාරයේ ඔහුගේ සාමාන්‍යය 12 දක්වා පහත වැටුණි. ආබාධ සහ දක්ෂතා අතර නොසිටීම හේතුවෙන් 2011 වන විට ඔහු කණ්ඩායමෙන් ඉවත් විය. 2018 වන විට, තරුණයින්ට අවස්ථාව දීම සඳහා ගෝවා ප්‍රාන්ත කණ්ඩායමෙන්ද ඔහුව ඉවත් කෙරුණි.
වැදගත්ම කාරණාව එය නොවේ. ඉන්දියාවේ කුඩා නගරයක ක්‍රීඩකයෙකු IPL තරගාවලියට තේරී පත්වන සෑම අවස්ථාවකම ඒ වෙනුවෙන් සැඟවුණු කතාවක් අසන්නට ලැබේ. ඔවුන් වෙනුවෙන් මූලික අඩිතාලම දමනු ලැබුවේ අස්නොද්කාර් විසිනි. IPL ක්‍රීඩා කරන්නට ඔබට මුම්බායි හෝ දිල්ලි වැනි ප්‍රධාන නගරයකින් පැමිණීම අත්‍යවශ්‍ය නොවන බවට ඔහු සාක්ෂියක් විය.
අස්නොද්කාර් නම් කාලතුවක්කුව එක් තරග වාරයකදී පමණක් පත්තු වූවා විය හැකිය. නමුත් එහි දෝංකාරය තවමත් ක්‍රිකට් ලෝලීන්ට දැනෙනවා වන්නට පුළුවන.
10/05/2026
දිනය 1983 වසරේ අප්‍රේල් 30 වැනිදා ය.
ඒ බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ඉන්දියාව අතර ඇන්ටිගුවා දූපතේ පැවැත්වෙන පස්වැනි ටෙස්ට් තරගය යි.
හිරු රශ්මියෙන් මුළු ක්‍රීඩාංගණයම නැහැවෙමින් තිබෙන මොහොතක කොදෙව් ආරම්භක පිතිකරුවන් දෙදෙනා ගෝර්ඩන් ග්‍රීනිජ්, ඩෙස්මන්ඩ් හේන්ස් සමඟින් පිතිකරණයට පිවිසෙමින් සිටියේ ය.
මෙකී මොහොතේ කිලෝමීටර් 500ක් ඈතින් පිහිටි බාබඩෝස්හි රෝහල් ඇඳක, ග්‍රීනිජ්ගේ වයස අවුරුදු දෙකහමාරක් වයසැති දියණිය රියා, වකුගඩු ආසාදනයකින් පෙළෙමින් ජීවිතයත් මරණයත් අතර සටන් කරමින් සිටියා ය.
වෛද්‍යවරුන් අතර සංවාදය වූයේ ඇය සුවය ලබන ආකාරය ගැන නොවේ ඉදිරියේදී සිදුවිය හැකි දේට සූදානම් විය යුතු ආකාරය යි.
ග්‍රීනිජ් වසර 6කින් ටෙස්ට් පිටියේ ශතකයක් ලබා තිබුණේ නැත. පිතිකරණය හුස්ම ගැනීම තරම් පහසුවෙන් කළ ඒ මිනිසාට, එය ජීවිත කාලයක් තරම් දිගු නිහඬතාවයකි.
ග්‍රීනිජ් එදින පිත්ත හැසිරවූයේ වෙනත් අයෙකුගේ දෑතින් මෙනි. ඔහුගේ දෑත් ක්‍රියා කළද, මනස තිබුණේ බාබඩෝස්හි රෝහල් කොරිඩෝවක ය.
හේන්ස් ඔහු සමඟ නොසැලී සිටියේය. ඔවුන් දෙදෙනා එදා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 296ක සබඳතාවයක් පැවැත්වූහ. හේන්ස් ලකුණු 136කට දැවී ගියත්, තෙවන දිනය අවසානයේ ග්‍රීනිජ් ලකුණු 154ක් ලබා නොදැවී සිටියේ ය.
ක්‍රීඩාංගණය ඔල්වරසන් දුන්නේය, ක්‍රීඩාගාරයේ සගයන් ඔහුව වැළඳ ගත්හ. නමුත් ඔහුට ඒ කිසිවක් ඇසුණේ නැත. ඔහුගේ කන්වල රැව්දුන්නේ තවමත් නාද නොවූ දුරකථනයක හඬයි.
පසුදා උදෑසන ලකුණු පුවරුවේ සටහන්ව තිබුණේ ඕනෑම අයෙකුගේ හදවත නතර කරවන සුලු දෙයකි.
Retired Out!
ග්‍රීනිජ් එදා උදෑසන පිටියට ආවේ නැත. ඔහුට ආබාධයක් තිබුණේ ද නැත. පෙර දින රාත්‍රියේ ඔහු දියණිය සොයා බාබඩෝස් බලා පියාසර කර තිබුණි.
දින දෙකකට පසු රියා මෙලොව හැර ගියාය. ඇය තම පියාගේ ඒ ලකුණු 154 ඉනිම දුටුවේ නැත. ඒ තබා ඇය කිසිදා තම පියා පිත්ත හසුරුවනවා දැක තිබුණේ ද නැත. රෝහල් බිත්තිවලින් එපිට ලෝකය ඇය කිසිදා දුටුවේ ද නැත.
ග්‍රීනිජ් එම කාලය හැඳින්වූයේ "අළු පැහැති මීදුමකින් වසාගත් කාලයක්" ලෙසයි.
ග්‍රීනිජ් මාසයකින් නැවත කොදෙව් හිස්වැස්ම පැළඳ පැමිණ සිටියේ ය. ලෝක කුසලානයට ක්‍රීඩා කළේය. පිත්ත අතට ගත්තේය, ලකුණු රැස් කළේය, කැමරා ඉදිරියේ සිනාසුණේය. නමුත් ඒ වෙනුවෙන් ඔහු ගෙවූ වන්දිය කිසිවෙකු දැන සිටියේ නැත. සැබෑවකි ක්‍රීඩාව ඔබේ වේදනාව වෙනුවෙන් නතර වන්නේ නැත.
සමහර ශතක ඉතිහාසයට එක්වන්නේ හයේ පහරවල්, සැමරුම් හෝ අනුග්‍රාහකයන්ගේ සිනහව නිසාය. නමුත් ග්‍රීනිජ්ගේ මෙම ශතකය, තම පියා තමන් දන්නා එකම දක්ෂතාවය ලෝකයා ඉදිරියේ ප්‍රදර්ශනය කරන අයුරු දැකීමට වාසනාව නොලද කුඩා දැරියක වෙනුවෙනි.
හදවත කැබලිවලට කැඩී තිබියදී, තමන් ආදරය කළ සෑම දෙයක්ම තමන්ගෙන් ගිලිහී යන මොහොතක, ගෝර්ඩන් ග්‍රීනිජ් ඒ මිනිසා පිටිය මැද සිට ගොඩනැඟූ ඒ අභීත ඉනිම ක්‍රිකට් ඉතිහාසයේ ඉදිරිපෙළ අසුනක් ලැබිය යුතු අගනා ඉනිමකි.
ඡායාරූපය: Bob Thomas | Getty Images